Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රට කෝල්වලින් කෝටි ගණන් වංචා කරලා... ජංගම දුරකථන 410 ක්‌ සිම්කාඩ් 17800 ක්‌ රවුටර් 60 ක්‌ සමග තිදෙනෙක් අත්අඩංගුවට -(video)

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පවත්වාගෙන ගිය ජාත්‍යන්තර දුරකථන පණිවිඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ඊයේ (07 වැනිදා) අලුයම වැටලූ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එය පවත්වා ගෙන ගිය චීන ජාතිකයකු සහ දෙමළ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි තිබී නවීන පන්නයේ ඇපල් වර්ගයේ ජංගම දුරකථන 410 ක්‌ දේශීය සහ විදේශීය සිම් කාඩ්පත් 17,800 ක්‌, රවුටර් 60 ක්‌ සහ තවත් සන්නිවේදන උපකරණ රැසක්‌ විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

චීනය ඇතුළු රටවල් ගණනාවකින් මෙරටට ලැබෙන විදේශ දුරකථන ඇමතුම් මෙම දුරකථන පණිවිඩ හුවමාරු මධ්‍යස්‌ථානය වෙත ලබාගෙන ඒවා දේශීය දුරකථන ඇමතුම් ලෙස බෙදාහැර ඇත.

විදේශ දුරකථන ඇමතුම් මෙම දුරකථන පණිවිඩ මධ්‍යස්‌ථානය වෙත ලබාගෙන ඒවා දේශීය ඇමතුම් ලෙස ලබාදීමෙන් මෙරටට රුපියල් කෝටි ගණනක විදේශ විනිමයක්‌ අහිමිවී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම දුරකථන පණිවිඩ මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් චීනය ඇතුළු රටවල් ගණනාවකම තම නියෝජිතයන් පත් කර ඔවුන් හරහා මෙම දුරකථන පණිවිඩ ලබා ගැනීමේ ජාවාරම කරගෙන ගොස්‌ ඇත.

නීති විරෝධී දුරකථන පණිවිඩ හුවමාරු මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය සංවිධානාත්මක කණ්‌ඩායමට චීනයේ සහ තවත් රටවල් ගණනාවක නියෝජිතයන්ගෙන් විශාල ආදායමක්‌ ලැබී ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ සුවිසල් නිවාස දෙකක මෙම මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස්‌ තිබිණි. චීන ජාතිකයන් 06 දෙනකු සහ දෙමළ ජාතිකයන් දෙදෙනකු විසින් මෙම මධ්‍යස්‌ථානය කරගෙන ගොස්‌ ඇත්තේ දීර්ඝ කාලයක සිටය.

ඉකුත් පාස්‌කු ඉරිදා එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් පසු මෙම දුරකථන මධ්‍යස්‌ථානය තාවකාලිකව වසා දමා ඇති චීන ජාතිකයන් ඇතුළු පිරිස එහි තිබූ ජංගම දුරකථන සිම් කාඩ්පත් ඇතුළු සන්නිවේදන උපකරණ වළ දමා හොර රහසේම චීනයට පලාගොස්‌ ඇත.

ඔවුන් එසේ පලාගොස්‌ තිබුණේ පොලිසිය මෙම නිවාස දෙක පරික්‍ෂා කළහොත් එහි ස්‌ථාපිත කර තිබෙන නීතිවිරෝධී දුරකථන පණිවිඩ මධ්‍යස්‌ථානය හසුවීමට ඉඩ තිබූ නිසාය.

මොවුන් මෙම මධ්‍යස්‌ථාන දෙක පවත්වාගෙන ගිය සුවිසල් නිවාස දෙකින් එකකට රුපියල් තුන් ලක්‍ෂ පණස්‌දහසක්‌ සහ අනෙක්‌ නිවසට රුපියල් හැත්තෑ දහසක මාසික කුලියක්‌ ගෙවා ඇත.

ත්‍රස්‌ත ප්‍රහාරයේ උණුසුම පහව යැමෙන් පසු චීන ජාතිකයකු සහ දෙමළ තරුණයන් දෙදෙනකු නැවත මෙම නිවාස දෙකට පැමිණ නීතිවිරෝධී දුරකථන පණිවිඩ මධ්‍යස්‌ථානය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකුට ලැබුණු තොරතුරක්‌ ඔස්‌සේ විමර්ශන ආරම්භ කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඊයේ අලුයම මෙම නිවාස දෙක වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර වළ දමා තිබූ ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගය සොයා ගත්තේය.

චීන ජාතිකයන් විශාල පිරිසක්‌ මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා ඔවුන්ගෙන් බහුතරයක්‌ විදේශ දුරකතන ඇමතුම් ලබාගෙන ඇත්තේ මෙම දුරකථන පණිවිඩ හුවමාරු මධ්‍යස්‌ථනය හරහා බව පොලිසිය පවසයි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.




This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

රට කෝල්වලින් කෝටි ගණන් වංචා කරලා... ජංගම දුරකථන 410 ක්‌ සිම්කාඩ් 17800 ක්‌ රවුටර් 60 ක්‌ සමග තිදෙනෙක් අත්අඩංගුවට -(video)

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×