Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

2016 විවාහක රූ රැජින ලෙස කිරුළපලන් රුක්ෂිකා



2016 විවාහක රූ රැජින ලෙස කිරුළපලන් මේ රුවැත්තිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා MISS and MRS Vietnam Europe තරගයට ඉදිරිපත් විය. ඒ තරගකාරියක් ලෙස නොව, විනිශ්චයකාරියක ලෙසයි. රංගනයෙන් මෙන්ම නිරූපණයෙන් බොහෝදුරක් පැමිණ ඇති රුක්ෂිකා ගමගේ සිය කටයුතු මෙන්ම ලංකාවේ නිරූපණය ක්ෂේත්‍රය තුළ ඇති ගැටලු පිළිබඳව මෙලෙස අදහස් අපත් සමග බෙදා ගත්තාය.
 
පහුගිය දවස් වල ලංකාවෙ හිටියෙ නැහැ නේද?
ඔව්, ඇත්තටම මම පහුගිය දවස් ටිකේ ලංකාවෙ හිටියෙ නැහැ. ලන්ඩන් වල බර්මින්හැම් වලයි හිටියේ. Miss and Mrs Europe Vietnam තරග විනිශ්චය කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඒ අය මට විශේෂ සම්මානයකුත් පිරිනැමුවා. මොකද Mrs World Pageant එකට දායක වූ කෙනෙක් විදියට. ඒ දේත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා හිටියා පහුගිය දවස් ටිකේ.
 
Mrs Sri Lanka වූ තරගය ගැන නැවත කතා කළොත්?
මම Mrs Sri Lanka වුණේ 2016දී. මුලින්ම තිබ්බ පැජන්ට් එක පෙබරවාරි වල තිබුණේ. එහිදී Top 08 වලට ආවා. ඊට පස්සෙ තමයි ලංකාව නියෝජනය කරලා ඔක්තෝම්බර් මාසයේ කොරියාවේ තිබ්බ තරගයට දායක වුණේ. එහිදී තමයි Mrs Sri Lanka ලෙස කිරුළ පැලඳීමට මට අවස්ථාව උදාවුණේ.
 
එම කිරුළත් සමගද ඔබව නිරූපණය ක්ෂේත්‍රය තුළ දැන හැඳින ගන්නේ?
නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන් ගොඩක් දේවල් එන්න ගත්තේ ඒ දේවල් එක්කයි. ඊට කලින් මම ලංකාවෙ හිටියෙ නැහැ. අවුරුදු හතරක් සීෂෙල්ස් තමයි හිටියේ. සීෂෙල්ස් වලට යන්න කලින් වේදිකා නාට්‍ය තුනකට රංගනයෙන් දායක වුණා. ජයසේකර අපොන්සුගේ පාතාලේ සොල්දාදුවෝ^ නාට්‍යයටත්, ඊට පස්සේ 'කිරා' වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය කළා. අනිත් වේදිකා නාට්‍යය "තටු". මේ තුන සඳහා තමයි දායක වුණේ. ඒ අතරතුරේදි පද්මසිරි කොඩිකාරගේ 'සොරි මැඩම්' කියලා සිරස ටීවී එකේ විකාශනය වුණ නාට්‍යයක ප්‍රධාන චරිතයක් කළා. මේ අතරතුරේදී තමයි මට රට යන්න සිද්ධ වුණේ. ඒ ගිහින් ආපු ගමන් තමයි Mrs Sri Lanka පැජන්ට් එකට දායක වුණේ. ඒකෙන් තමයි අලුත් පටන්ගැන්මක් ලැබුණේ.
 
නිරූපණයෙන් දායක වූ නිර්මාණයන් ගැන කිව්වොත්?
වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා. ඒ රට යන්න කලින්. කොමර්ෂල් බැංකුව, රෝයල් සෙරමික්, NSB වගේ තවත් විශාල වෙළෙඳ දැන්වීම ප්‍රමාණයක් සඳහා දායක වුණා. ළඟදිත් මට ගොඩක් වෙළෙඳ දැන්වීම් සඳහා ඇරයුම් ලැබුණා. ඒත් මම දායක වෙන්නේ හොඳම වෙළෙඳ දැන්වීම් සඳහා විතරයි.
 
බොහෝ කාලයක් ක්ෂේත්‍රය තුළින් ඉවත්වෙලා හිටිය ඔබට මේ ක්ෂේත්‍රය ගැන දැන් දැනෙන දේ?
කලින් තිබුණට වඩා මේ ක්ෂේත්‍රය දැන් ගොඩක් දියුණුවෙලා තියෙනවා. ලංකාවේ ජාත්‍යන්තර දේවල් එක්ක ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා.
 
හතු පිපෙන ආකාරයට මේ පැජන්ට් කියන දේ අද හැමතැනම තියෙනවා?
ඇත්තෙන්ම ඔව්. කිසිම ප්‍රමිතියක් නැති පැජන්ට් මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. මේ සඳහා ඇත්තෙන්ම යම්කිසි ප්‍රමිතියක් තියෙන්න ඕන. මොකද නැත්නම් දකින දකින අය Crown පැලඳගෙන ඉන්නවා. එහෙම ඒ දේවල් කරල වැඩක් නැහැ කියල තමයි මගේ අදහස. ඒ සඳහා වූ විශේෂ වූ පුහුණුවක් අවශ්‍යයි. මොකක් හරි ප්‍රමිතියක් තියෙන ආයතනයක් මගින් හෝ එවැනි දෙයක් හරියාකාරව සංවිධානය කරනවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස.
 
Crown එකක් පැලඳපු කෙනෙක්ට ලංකාවේ පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා?
අනිවාර්යෙන්ම ඔව්, Crown එකේ තියෙන වටිනාකම නැති වෙලා තියෙන්නේ මේ පැජන්ට් විශාල ප්‍රමාණයක් තියෙන නිසා. දැන් බැලුවොත් හැමකෙනෙක්ම Beauty Queen කෙනෙක්. හරියාකාරව තේරෙන කෙනෙක් හෝ ලංකාවට කීර්තියක් ගෙනෙන කෙනෙක්ට අද හරියට තැනක් හැදෙන්නේ නැත්තෙ මේ කාරණා නිසා තමයි. විශේෂයෙන්ම රෝසි සේනානායක මහත්මිය ගැන කියන්න ඕන. ලංකාවට ගෞරවයක්, කීර්තියක් ගෙනාපු කෙනෙක් විදිහට අද කවුරුත් දන්නා කෙනෙක් තමයි ඇය. ඒක අදටත් අපි කතා කරනවා. හැබැයි ඒ කාලෙ වගේ නෙමෙයි දැන්. Mrs Sri Lanka කිව්වොත් ඒ වගේ අය 10ක් විතර ඉන්නවා. ඒ නිසා ප්‍රමිතියක් ඇතුව යම්කිසි වගකීමකින් මෙවැනි දෙයක් වෙනවා නම් ඇත්තටම හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. එහෙම වුණොත් නියමිත ගෞරවය, නියමිත පිළිගැනීම ඒ පුද්ගලයාට හිමි වෙනවා.
 
නැවත රංගනයට යොමු වෙනවාද?
මම රංගනය පිළිබඳව හැදෑරීමකුත් කරල තියෙනවා. හොඳ දෙයක් ලැබුණොත් කරන්න අනිවාර්යෙන්ම බාර ගන්නවා. දැන් ෆොටෝ ෂූට් වලට පුදුම විදිහට කතා කරන්නේ. නමුත් ඒ කිසිම එකකට දායක වෙන්න කැමැත්තක් නැහැ. වැඩක් කරද්දී තෝරා ගැනීමක් තියෙන්න ඕන. ඒ නිසා තෝරාබේරාගෙන වැඩ සඳහා දායක වෙනවා.
 
අද ලංකාවේ "ෆේස්බුක් මොඩ්ල්" කියන අය වැඩියි නේද?
ඔව් අනිවාර්යෙන්ම. ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා මම මොඩ්ල් කෙනෙක් කියාගෙන එන අය ගොඩක් ඉන්නවා. ඒ අතරින් මේ ක්ෂේත්‍රයට කැමති අය ගොඩක් ඉන්නවා. මම කියන්නේ නිරූපණයට ආශාවක්, කැමැත්තක් තියෙනවා නම් ඒ පිළිබඳව හදාරලා ක්ෂේත්‍රයට එන්න කියලයි. මොකද ලංකාවේ ඕනෑතරම් ඒ සඳහා අවස්ථාවන් තියෙනවා. ඕනෑම දෙයක් කරන්න ඕන හැදෑරීමක් ඇතුවයි. පැවැත්මක් තියෙන්න නම් හැදෑරීමක් අත්‍යවශ්‍යයි. ගොඩක් අය ඔය ආසාවට ෆොටෝ ෂූට් දෙකක් තුනක් කරලා තමයි මොඩල් කියන්නේ. ඒකෙන් වෙන්නෙ මේ ක්ෂේත්‍රය තුළ වෘත්තීමය වශයෙන් නමක් තියාගෙන ඉන්න නිරූපණ ශිල්පිනියන්ට හානියක් වෙන එකයි.
 
පවුලේ කටයුතු එක්ක කොහොමද ක්ෂේත්‍රයට ලැබෙන දායකත්වය?
විශේෂයෙන්ම ඒ සඳහා මට උදව් කරන්නේ මගේ ස්වාමිපුරුෂයායි. එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාගේ වැඩත් එක්ක මට පුළුවන් විදිහට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ නංගි තමයි මගේ පස්සෙන්ම ඉඳලා හැම වැඩකටම මාත් එක්ක යන්නේ. ඒ වගේම අම්මා තාත්තාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
 
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ පළමු තැන පවුලට තමයි දෙන්නේ. මම ගොඩක් දේවල් මේ ක්ෂේත්‍රය තුළින් ලබාගෙන තියෙන්නේ. නිරූපණ ශිල්පිනියක් විදිහටත්, විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරලා තියෙනවා. මට හිතෙනවා මම යම්තාක් දුරට ඉදිරියට ඇවිත් තියෙන්නේ කියලා. තව ඉදිරියට යන්න පුළුවන් කියලත් දන්නවා. ඒ සඳහා හොඳ නිර්මාණයන් සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මට මේ තත්ත්වයට එන්න උදව් කරපු අයවත් මතක් කරන්න ඕන. වාසනා දන්තනාරායන සහ රසික මෙල්රෝයි දෙන්නා තමයි මගේ මේ ගමනට මූලික වෙන්නේ. ඒ වගේම රොසෑන් ඩයස් සහ මයිකල් විජේසූරිය දෙන්නවත් මතක් කරන්න ඕන. මම යම්කිසි තැනක ඉන්නවා නම් මේ හතරදෙනා නිසයි.
 
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
 
  




This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

2016 විවාහක රූ රැජින ලෙස කිරුළපලන් රුක්ෂිකා

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×