Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

තමා සතු සියල්ල යොදා සමයං අවසන් ගමන් යැවූ අංගොඩ ලොක්කාගේ ‘‘Do or Die‘‘ ගේම – අංගොඩ ලොක්කා ගැන ඔබ නොදැන සිටි කතා

පාතාල ලෝකයේ නමක් දිනා ගනිමින් සිටි සමයං බන්ධනාගාර රැකවල් මධ්‍යයේ මරා දැමීමට හැකි වූ  ‘අංගොඩ ලොක්කා‘ කවුරුන්ද යන්න බොහෝ දෙනාගේ විමසිල්ල යොමු වී තිබේ. මේ ලිපිය අංගොඩ ලොක්කා ගැන සහ සමයංට මරණය අත්කළ පසුබිම් කතා ගැනය.

1985 වසරේ නොවැම්බර් 13 වැනි දා උපන්   අංගොඩ  ලොක්කාගේ දැන් වයස අවුරුදු 32 ක් පමණ වේ. අංගොඩ බෝගල පාරේ පදිංචිව සිටි ඔහු කරලියට එන්නේ 2011 වසරේදී ය. අංගොඩ රෝහලට දෙසට යමින් සිටි චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචා 2011 වසරේ ජනවාරි 18 වැනි දා වෙඩි තබා ඝාතනය කෙරිණ. ඔහු සමඟ සිටි රසික ලක්මාල් නම් පුද්ගලයකුට බරපතල තුවාල සිදු විය.  ඒ ගැන ඇඟිල්ල දිගු වූයේ අංගොඩ ලොක්කා දෙසටය.

ඒ වන විට සමයා නොහොත් සමයං කරලියට එමින් සිටියේය. 2010 ජනවාරි 16 වැනි දා කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සමයංට චෝදනා එල්ල වී තිබුණු අතර ලොක්කා ලොක්කකු ලෙස එවකට කරලියට පැමිණ සිටියේ නැත.  පළතුරු ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්ෂ හා සමයා අතර ඇයි හොඳයියක් නොතිබුණි. සමයා ඔහු ඝාතනය කර තිබුණේ වෙනත් ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත්තුවක් උඩය.

කිත්සිරි රාජපක්ෂ මහතාට වෙඩි තැබීම ගැන පරීක්ෂණ පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබිණි. ඒ සමයා දඹුල්ලේ සිටින බවයි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු පිරිසක් සමයං සොයා දඹුල්ලට ගියහ. දඹුල්ලේ සැඟව සිටියදී සමයා අත්අඩංගුවට ගත්හ. එහි දී තවත් ආන්දෝලනාත්මක කතාවක් හෙළි වී තිබිණි.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සඳහා එක්තරා දේශපාලනඥයකු තමාට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව සමයා හෙළි කළේය. එය තමාට ලැබුණේ මෝල් වසන්ත නම් පුද්ගලයා හරහා බව ද සමයා පොලිසියට කීවේය. කිත්සිරි ඝාතන කොන්ත්‍රාත්තුව සමයාට ලැබී තිබුණේද මෝල් වසන්ත හරහාය.

කරුණු මෙසේ වෙද්දී අංගොඩ ලොක්කාද චරිතයක් බවට පත්වීමට උත්සාහ ගනිමින් සිටියේය. අංගොඩ ලොක්කා  මුදල් ඉපයීමේ ප්‍රධාන මාර්ගය ලෙස කරගෙන ගියේ වගුරු බිම් ගොඩ කර විකිණීමයි. ඒ සඳහා ඔහුට තවත් පිරිස් සහාය විය. ඔහුගේ මිතුරකු වූ ‘රනිල්‘ ද ඊට සහාය දැක්වීය.  ඉඩම් ගොඩ කිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් සමයා සහ ලොක්කා විරසැක වූයේ මේ අතරය.

2014 වසර වන විට සමයා මෙන්ම අංගොඩ ලොක්කාද කරලියට පැමිණ සිටියේය. 2014 ජුනි හත් වැනි දා කැලණිය පට්ටිවිලදී බාල්දි තිලක් සහ ලඩියා නම් තවත් පුද්ගලයකු ඝාතනය කළැයි අංගොඩ ලොක්කාට චෝදනා එල්ල වෙද්දී 2014 අගෝස්තු 17 වැනි දා ටී56 ගිනි අවියකින් වෙඩි තබා නවගමුවේ දීප්ති කුමාර ඝාතනය කළැයි සමයාට චෝදනා එල්ල විය.

අතුරුගිරිය ප්‍රදේශයේ තරුණ පිරිසක් ලොක්කාට සහාය පළ කළ අතර ඒ ගැන සමයං සිටියේ දැඩි තරහකිනි. මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරන් සහ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා  අංගොඩ ලොක්කාගේ දකුණත සහ වමත මෙන් ඔහු සමග සිටියහ.

සමයං රිමාන්ඩ් බාරයේ සිටිය දී අංගොඩ ලොක්කා තවත් ඉදිරියට එමින් සිටියේය. ඔහුගේ කෙරුම්වලට තාවකාලිකව තිත තබමින් 2015 මැයි 26 වැනි දා ලොක්කා අත්අඩංගුවට පත් විය. සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මුල්ලේරියාව අංගොඩ දී කළ වැටලීමකදී ගිනි අවි සමඟ ලොක්කා හසුවිය. ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ 29ක් එම මැගසින් එකක්, මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ හයක්, කඩු දෙකක් ඇතුළු අවි ආයුධ සමඟ සැකකරු බාර කැරුණේ මුල්ලේරියාව පොලිසියටය. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබීය.

දකුණු පාතාලයේ ප්‍රබලයකු ලෙස සැලකූ මධූෂ් සහ අංගොඩ ලොක්කා අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙන්නේ සතුරාගේ සතුරා මිතුරාය යන කියමන පසක් කරමිනි. හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂ මාතර මධූෂ්ගේ හොඳම ගෝලයා වූයේය. දක්ෂිණ අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයේ පළමු සැකකරු ලෙස මධූෂ් නම් වෙද්දී දෙවැනි සැකකරු වූයේ කඹුරු පිටියේ හර්ෂය.

හර්ෂ ද බන්ධනාගාර ගත විය. හර්ෂට සමයා හමුවූයේ බන්ධනාගාරයේ දී ය. එහිදී දෙදෙනා මිතුරන් ලෙස කටයුතු කළ අතර වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුහු වෛරක්කාරයෝ බවට පත් වූහ. වරක් බන්ධනාගාරයේදී සමයං හර්ෂගේ ප්‍රහාරයකටද ලක් විය. ලොක්කා සහ හර්ෂ සුහදත්වය වර්දනය කර ගනිද්දී දෙදෙනාම සමයාගේ තරහ කාරයෝ බවට පත්වූහ.

ලොක්කාගේ ඉඩම් ගනුදෙනුවලට සහාය දක්වමින් සිටි රනිල් ඉන් පසු තනිවම එම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. තම හිතවතා තමා රිමාන්ඩ් වූ පසු තනිවම ව්‍යාපාර කරගෙන යෑම ගැන ලොක්කා දැඩි වෛරයකින් පසු විය. රනිල් ඝාතනය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

හර්ෂලාගේ කණ්ඩායම සහ අංගොඩ ලොක්කාගේ කණ්ඩායම එක්ව සමයං මරා දැමීමට වැර යෙදුවේ කවදා හෝ සමයංගෙන් තමන්ට මැරුම් කෑමට සිදුවන බව දන්නා නිසාය. 2015 සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල උසාවියේදී ක්‍රියාත්මක වූයේ එම සැලසුමයි. කෙසේ වෙතත් දිවි බේරා ගැනීමට සමයන් සමත් විය. එම සිදුවීමත් සමග හර්ෂ මෙන්ම ලොක්කාද සිටියේ දැඩි භීතියකිනි. 2016 මාර්තු තුන් වැනිදා කඹුරුපිටියේ හර්ෂ මරා දැමීමට සමයංගේ කල්ලිය සමත් විය. නමුත් ලොක්කාට කිසිවක් කිරීමට ඔවුනට නොහැකි විය.

2016 අප්‍රේල් මස 29 වැනි දා අංගොඩ දෙල්ගහවත්තේ දී රම්‍යජිත් ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙතියාගොඩ සංඛ නම් පුද්ගලයෙක් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2016 මැයි 10 වැනි දා ය. ඔහුගේ ප්‍රශ්න කිරීම් අනුව අංගොඩ පෙතියාගොඩ ගල් වැඩපොළක් පිටුපස සඟවා තිබූ  යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල හතරක් සොයා ගත්තේය.

සමයං ඝාතනය කිරීමට අංගොඩ ලොක්කාගේ එම උත්සාහය ද අසාර්ථක විය. යුද හමුදා නිල ඇඳුමෙන් ගොස් බන්ධනාගාර බස් රථයේ සිටින සමයං ඝාතනය කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබුණේය. එම සැලසුම හෙළි වීමෙන් පසු අංගොඩ ලොක්කා දිවුර දිවුරා කීවේ සමයං කෙලෙස හෝ ඝාතනය කරන බවයි.

අංගොඩ ලොක්කා ඉවරයක් කිරීමට සමයං ලොකු උත්සාහයක් දැරීය. බැරි තැන ඔහුගේ දකුණත සහ වමත ලෙස සිටි මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරන් සහ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා  ඉවරයක් කිරීමට සමයා තීරණය කළේය.

එහි මුල්ම පියවර ක්‍රියාත්මක වූයේ පසුගිය ජනවාරි පස් වැනි දා ය. වෙල්ගහවත්තේ රත්තරන් වෙඩි තබා මරා දැමිණි. ලොක්කා එම මළගෙදරට එතියි සමයාගේ කල්ලිය බලාගෙන සිටියේය. නමුත් ලොක්කා අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ලොක්කාගේ හයියට සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා  ද ජනවාරි 17 වැනි දා මරා දැමුණේ අතුරුගිරිය රූපලාවන්‍යාගාරකයදීය.

මෙම ඝාතන දෙකත් සමඟ ලොක්කා දැඩි භීතියකින් පසු විය. සමයා මරාගෙන මැරීමට හෝ ඔහු තීරණය කළේය. තමා ඉස්සර නොවුණොත් සමයා කෙලෙස හෝ තමා මරණ බව ද ලොක්කා දැන සිටියේය. ඒ අනුව තමන් සතු සියලු සම්පත් සහ වැර යොදා සමයා ඝාතනය කිරීමට ඔහු සැලසුම් කළේය. මාතර මධූෂ්ගේ සහාය ද ඊට ලැබිණි.

Do or Die (ඩූ ඕ ඩයි) හෙවත් ‘කරපං නැත්තං මැරියං‘ යන පාතලයේ සුප්‍රසිද්ධ න්‍යාය ‘අංගොඩ ලොක්කා‘ ද අත්හදා බැලීය. පෙබරවාරි 27 වැනි දා බන්ධනාගාර බස් රියට වෙඩි තබා සමයං ඝාතනය කිරීමට ලොක්කා පැමිණියේ තමා ඉස්සර වුවහොත් සමයාට මරණ අත්වන බව හා වැඩේ ගැස්සුණොත් තමා මැරුම් කන බව හොඳ හැටි දැනගෙනය. අංගොඩ ලොක්කා ඉස්සර විය. සමයං අතින් මැරුම් කෑමට සිටි අංගොඩ ලොක්කා විසින් සමයං මරා දමනු ලැබිණ.

මේ වන විට පොලිසිය කළ විමර්ශනවලින් හෙළිදරව් වී ඇත්තේ අංගොඩ ලොක්කාට අමතරව කොස්ගොඩ සුජී, මාතර මධුෂ් සහ තවත් පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ බවයි. ඩුබායිහි සිටි මාතර මධුෂ් කලින් කලට ඉන්දියාව හරහා ලංකාවට ආගිය බව පොලිසිය කියයි. මේ කාල වකවානුවේ මධුෂ් ලංකාවේ සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ලංකාදීප


This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

තමා සතු සියල්ල යොදා සමයං අවසන් ගමන් යැවූ අංගොඩ ලොක්කාගේ ‘‘Do or Die‘‘ ගේම – අංගොඩ ලොක්කා ගැන ඔබ නොදැන සිටි කතා

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×