Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ජනපතිගේ ධුර කාලය 2020 න් අවසන් වීමේ ඇතුළත කතාව

ඇතැම් අය අගෝස්තු මාසය දක්වා ඔහුට ධුරය දැරිය හැකි බවට මත පළ කරමින් සිටියද, එම අගෝස්තු මාසය අදාළ වන්නේ ජනපතිට නොව පාර්ලිමේන්තුවට ය. ජනපති විධායකය වන අතර පාර්ලිමේන්තුව යනු ව්‍යවස්ථාදායකයයි. විධායකය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකින් වියුක්ත ආයතන දෙකකි.

කෙසේ නමුත් අල්පේච්ඡ ජනාධිපති, තීරණය දැනගන්නට ලැබුණු සෙනසුරාදා හවස පටන් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට නොසෑහනෙ සේ දෙහි කපමින් ද දොස් පවරමින් ද විස්සෝපයෙන් බැණ වදිමින් ද සිටියි. ජනපතිගෙන් එසේ වැඩියෙන්ම බැණුම් අසන දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඔහුට පුරෝහිත කම් කළ පළාත්පාලන ඇමති ෆයිසර් මුස්තාෆා ය. අනෙක් කෙනා, නීතිපති ජයන්ත ජයසූරිය මහතා ය.

19 වන සංශෝධනය වත්මන් ජනපතිට අදාළ නොවන බව කියමින් ජනපති සිරිසේන ව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම පිණිස යොමු කළ ෆයිසර් මුස්තාෆා සිතන්නට ඇත්තේ අභියාචනාධිකරණයේ තමන් සතු යම් සිවිල් බලයක් තිබේද, එපමණම බලයක් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් ද තිබේය යන්නයි. සැබවින්ම ඔහු තමන් ජනපතිට දෙන්නේ ලණුවක් බව දැන නොසිටින්නට ඇත.

අතීතයේ නම් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය, විධායකය කියන කියන පදයට එළිපිට නටන කාලයක් තිබිණි. ඒ ගැන නඩු තීන්දු පවා බොහෝ ය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳ විමසා බලන ජනවාරි 11 වැනිදා වන විට පවතින්නේ එදා පැවති වාතාවරණය නොවේ. එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය සමන්විත වන්නේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, කේ.ටී. චිත්‍රසිරි, ඊවා වනසුන්දර, බී.පී. අළුවිහාර සහ සිසිර ජේ.ද ආබෘෘ විනිසුරුවරුන්ගෙනි. කේ.ටී. චිත්‍රසිරි විනිසුරුගේ මතය වී ඇත්තේ සිය නීති දැනුම අනුව වත්මන් ජනපතිගේ ධුර කාලය වසර 6 ක් විය යුුතු බව ය. එවිට සෙසු විනිසුරු මණ්ඩලයේ මතය වී තිබෙන්නේ එය එසේ නම්, ඔහු වෙනම විසම්මුතික මතයක්/ තීන්දුවක් ලිවිය යුතු බව ය. පසුව කේ.ටී.චිත්‍රසිරි විනිසුරු ද එම ඒකමතික මතය වෙනුවෙන් එක් වී තිබේ.

සැබවින්ම අකුරුතා රීතිය හෙවත් පදානුගත රීතිය අනුව මේ අවස්ථාවේ 19 වන සංශෝධනයේ 31 වැනි වගන්තිය අර්ථ නිරූපණය කළේ නම් එයින් ගම්‍ය වනු ඇත්තේ එය බලපවත්වන්නේ එම සංශෝධනය සම්මත කරගැනීමට පෙර ධුරයට පත්වූ තැනැත්තාට එය අදාළ නොවන බව ය. එසේ වූවා නම් 19 වන සංශෝධනය ගෙන ආවේ මන්ද යන අතිශය වැදගත් සමාජ-දේශපාලන කාරණය හෑල්ලුවට ලක් වේ. වත්මන් ජනපති සිරිසේන බලයට පත්වූයේම, විධායක ධුරය අහෝසි කරමියි සිංහ ගර්ජනා කරමිනි. අවසානයේ අහෝසි කිරීම කෙසේ වෙතත් විධායක ධුරයේ අත්තනෝමතික බලතල කප්පාදු කරමින් ධුර කාලය එක් අවුරුද්කින් අඩු කර එය වසර 5කට සීමාකිරීම ගැන ඔහුටම ප්‍රශ්නයක් මතු වීම, දේශපාලන ඛේදවාචකයකි. මේ අබග්ගය ශ්‍රේෂ්ඨාධිකරණ මතයෙන් ඔහුගේ වාසියට තහවුරු වූවා නම්, අසීමිත වාර ගණනක් විධායක ජනපති ධුරයට ඉදිරිපත් වීම ගැන පවා ඔහු කල්පනා කරන්නට ඉඩ තිබිණි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පදානුගත රීතිය වෙනුවට, එකී නීතිය ගෙන ඒමෙන් වළක්වන්නට අදහස් කළ අනර්ථය ගැන මේ අවස්ථාවේදී කල්පනා කළා විය යුතුය. ඒ අනුව අනර්ථ රීතිය හෝ ස්වර්ණමය රීතිය වැනි ප්‍රගතිගාමී ප්‍රවේශයකට ඔවුන් මේ සම්බන්ධයෙන් යොමුවීම, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මෑත ඉතිහාසයේ ලැබුණු හොඳම සාක්ෂියක් ලෙසට ඉතිහාසගත වනු ඇත.

විශ්වාස කටයුතු මූලාශ්‍ර හරහා අපට දැනගන්නට ලැබී ඇති පරිදි ‘වැඩේ දෙල්‘ වී ඇති බව ජනපතිට සෙනසුරාදා සවස් වන විට ආරංචි වී තිබේ. අවසන් මොහොත වන තෙක්ම ඔහු මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටින්නට ඇති බවට සැක නැත. ෆයිසර් මුස්තාෆාට පවා ශ්‍රේෂ්ඨාධිකරණ මතය හැබැහින් දකින තෙක් ඒ ගැන අදහසක් නැති වන්නට ඇත්තේ, නීතිපතිවරයා පවා ජනපති සිරිසේනට වසර 06 ක් දිය යුතුය යන මතයේ සිටි නිසා ය.

නීතිපතිගේ අනාගත අපේක්ෂා
ජනවාරි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතිපති ජයන්ත ජයසූරිය, අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ ඇතුළු පිරිස ඉදිරිපත් කළ කරුණු කියාපෑම්වලින් කියැවුණේ විධායක ජනාධිපති ධුර කාලය වසර 5කට සීමා කරන 19 වන සංශෝධනයේ 31 වැනි වගන්තිය අදාළ වන්නේ එම සංශෝධන ගෙන ඒමෙන් පසු බලයට පත්වන ජනාධිපතිවරුන්ට පමණක් වන අතර සිරිසේන ජනපති පදවියට පත්වූයේ ඊට පෙර, එනම් 2015 ජනවාරි 9 වැනිදා වන හෙයින් මෙම ධුර කාලය අඩුකිරීම පිළිබඳ සීමාව ඔහුට අදාළ නොවන බවයි.

නීතිපති යනු රජයේ ප්‍රධාන අභිචෝදකවරයා ය. තවද නීතිය පිළිබඳ ඉහළම දැනුමැත්තෙකි. ස්වභාවයෙන්ම අතිශය අපේක්ෂාසහගත පුද්ගලයෙකු වන ජයන්ත ජයසූරිය මහතාගේ නීති දැනුම සම්බන්ධයෙන් අපට වාදයක් නැත. එසේම, ඔහුගේ අනාගත අපේක්ෂාව වූයේ සහ වන්නේ, රටේ අගවිනිසුරු වීම බව නොරහසකි. යම් හෙයකින් මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ ප්‍රධානියා හෙවත් අගවිනිසුරු බවට ඔහු පත් වී සිටියා නම්, මේ තීන්දුව කෙසේ වනු ඇතිද? නීතිපති ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු පදවිය සඳහා පත් කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සෑහෙන කලක පටන් උවමනාවක් තිබිණි. මේ උවමනාව එළිපිටම ප්‍රකට වන්නට පටන් ගත්තේ අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගැනීමත් සමගිනි.

රනිල්ගේ විශිෂ්ට ආදර්ශය
හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම යන විට හිස් වන අගවිනිසුරු පුටුවට ජ්‍යේෂ්ඨත්වය අනුව ද පත්විය යුතුව තිබුණේ වත්මන් අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ය. නමුත් ඔහුගේ නම වෙනුවට හිටිහැටියේ ජයන්ත ජයසූරිය මහතාගේ නම එකල යෝජනා වී තිබිණි. බෞද්ධ ජනාධිපති, කතෝලිකයෙකුට අගවිනිසුරු තනතුර ලබාදීමට මැලි වෙමින් ඒ සඳහා ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට සූදානම් ව සිටියේය. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ වත්මන් අගවිනිසුරුට පෙර සිටි අවසන් කතෝලික අගවිනිසුරු වන්නේ එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා ය. ඔහුගේ පුත්‍රයා වන, කීර්තිමත් විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා අගවිනිසුරු පදවියට අවශ්‍ය සෑම සුදුසුකමක්ම සපුරා තිබියදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ද කළේ අති බෞද්ධ යැයි ලොව ට පෙන්වාගෙන සිටින සරත් එන්. ද සිල්වා අගවිනිසුරු පදවියට පත් කිරීමයි. එකී පත්කිරීමට කලින් දා රාත්‍රියේ දිවංගත ජේෂ්ඨ නීතීඥ ආර්.කේ. ඩබ්ලිව් ගුණසේකර නීති විද්වතා හට චන්ද්‍රිකා කියා තිබුණේ ‘‘ඩෝන්ට් වොරි, අයිල් ඩූ දැට්“ කියා ය. එසේ කියූ චන්ද්‍රිකා අවසානයේ සිංහල බෞද්ධ පදනම මත පත්කළ සරත් එන්. ද සිල්වා, ඉතිහාසයේ දූෂිතම අගවිනිසුරුවරයා වශයෙන් වාර්තා පිට වාර්තා තැබුවේය. චන්ද්‍රිකා පවා පසුව දුක් වූ මෙම ඓතිහාසික වැරැද්ද මෙවර සිදුනොවූයේ අගමැති රනිල් වික්‍රමසිංගේ රාජ්‍ය තාන්ත්‍රික මොළයට පින්සිදුවන්නට ය. ජයන්ත ජයසූරිය වෙනුවට තනතුර ලැබිය යුතු සුදුසුම පුද්ගලයා වූ ප්‍රියසාත් ඩෙප් විනිසුරු වෙනුවෙන් එදා රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම වී තිබුණේ ආගමික පදනම මත වෙනස්කොට සැලකීමක් සිදු නොකරන ලෙස ය. මෙයට සමගාමී ව කතෝලික පල්ලිය ද මේ කාරණයේදී වෙනස්කොට සැලකීමක් නොකරන ලෙසට ඉල්ලීමක් කර තිබිණි. ආචාර්ය රංජිත් ධීරසේකර විනිසුරුවරයාට ද මීට පෙර දේශපාලනය විසින් ඔහුගේ කතෝලික පදනම මත අගවිනිසුරු පදවිය අහිමි කර තිබිණි.
මේ අනුව ජනාධිපතිවරයාට වසර 06 ක් දිය යුුතු යැයි නීතිපති ධුරයේ සිටියදී කියන ජයන්ත ජයසූරිය මහතා, ඒ කාරණයම කියන්නට අගවිනිසුරු පුටුවේ නොසිටීම රටේ දේශපාලන අනාගතයේ වාසනාවකි. රනිල් නමැති රාජ්‍ය තාන්ත්‍රිකයා එදා, සුදුස්සාට සුදුසු තැන දෙමින් සැබෑ සංහිඳියාව ක්‍රියාවෙන් පෙන්වා නොදුන්නේ නම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික මතය වනු ඇත්තේ අනෙකකි. විධායකය උත්තම්භනය කරන, විධායකයේ ආසාවන් ඔසවා තබන අධිකරණයක් වෙනුවට සංවරණයෙන් හා තුලනයෙන් යුතුව ක්‍රියා කිරීමට හැකි පිටකොන්දක් අධිකරණයට ලබාදීමට රනිල්ගේ එම විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාව සමත් වූ බවට විවාදයක් නැත.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා තවමත් සිටින්නේ අගවිනිසුරු සිහිනයේ ය. ඒ නිසා සරල භාෂාවෙන් කියනවා නම් ඔහු කළේ තමන්ව ඒ පුටුවට ඔසවා තැබීමට සමත් ඉණිමග වන ජනපති ව පිනවීමට ‘අතිකාල‘ මෙහෙයක් කිරීමයි. එහිදී සිය අනාගත අපේක්ෂා වෙනුවෙන් ඔහු සිය නිකැළැල් අතීතය පරදුවට තබයි. එහෙත් මනුෂ්‍යෙයකු වශයෙන් ඔහු තවමත් අර සිහිනයට පෙම් බැඳ සිටින්නේ පොලිස්පති වීමට ආශා කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සේ ය. මේ නිසා ඒ සිහිනයේම ජීවත් වන්නට ද ඔහු ආසා කරයි. ජනපති ඔහු කෙරෙහි විස්සෝප වීම, ඔහුගේ සිහිනයට වෙඩි වැදීමකි. ඔහු නොසිතා හෝ කළේ ෆයිසර් මුස්තාෆාගේ ලණුවම ජනපතිට දිගු කිරීමයි. ජනපති ඔහු සමග උරණ වීම හා ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරියේ ඔහුගේ මතය විහිළුවක් වීම තුළ ඔහු ලක්ව සිටින්නේ ගැටුම්කාරී උණුසුම් තත්වයකට ය.

ළඟකදි කේන්දරයක්වත් බැලුවාද?
හිටපු ජනපති මහින්ද ගෙදර ගියේ අවුරුද්දක් කලින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ‘ඉල්ලං කෑම“ නිසා ය. එසේ ජනපතිවරණයට දින නියම කර ගත්තේ ජ්‍යෝතිෂ උපදෙස් අනුව බව නොරහසකි. දුක නම්, ඒ ජනපති වෙනුවට පොදු ජන ව්‍යාපාරයක් හරහා, සිවිල් විප්ලවයක් හරහා පත් කර ගත් මේ ජනපතිත් කේන්දරකාරයන් විශ්වාස කිරීමයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද තදබල ලෙස කේන්දර විශ්වාස කරන්නෙකි. මේ සම්බන්ධයෙන් එකම වෙනස විය හැක්කේ සිරිසේන ජනපති කේන්දර බලවන්නේ වළලු දමන අතකින් වීම පමණි. මේ කේන්දර අනාවැකියට අනුව වසර 2021 වන විට ජනාධිපතිවරයාට නැවත ඉතාම හොඳ ග්‍රහචාරයක් උදා වෙයි. ඔහු නැවත ජනාධිපතිවරණයට තරග වැදිය යුත්තේ 2021දී ය. සැබවින්ම සිරිසේනට අවශ්‍ය වුණේ 2020 දී නොව 2021 දීම ජනාධිපතිවරණය නැවත පවත්වන්නට ය. ඒ සඳහා දැන් තබාම දින වෙන් කර ගැනීමට ඔහුට අවශ්‍ය විය.

මෙයින් පෙනී යන්නේ ලංකාවේ රාජ්‍ය නායකයන් හැම කෙනෙක්ම පාහේ එකම පොදු රෝගයකින් පෙළෙනා බවය. ඒ රෝගය වැළඳෙන්නේ කේන්දරකාරයන් විසින් නායකයන්ව ඇන්දවීම සහ කැමැත්තෙන්ම ඔවුන් ඇඳගැනීම නිසා ය. කේන්දරකාරයෝ නොකඩවාම නායකයන්ව අන්දවති. එහිදී මැදමුලන සහ පොළොන්නරුව අතර වෙනසක් නැත. එදා තමන් වැටුණු වළටම ජනපතිවරයා ද දැන් පැන ඇති බව ආරංචි වූ විට හිටපු ජනාපති මහින්ද කියා තිබෙන්නේ මෙසේ ය. ‘‘‘බලනකොට මට විතරයි තමුසෙලා හිනා වෙන්නෙ. මෛත්‍රිත් එහෙමනෙ.!!“

මහින්ද මෙසේ ද කියා ඇත. ‘‘මගෙයි එයාගෙයි තියෙන වෙනස මොකක්ද..?!!!“



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ජනපතිගේ ධුර කාලය 2020 න් අවසන් වීමේ ඇතුළත කතාව

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×