Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ETI ගොඩගන්න බිලියන 12 ක් සමග ආයෝජකයෙක් ලංකාවට - තැන්පත්කරුවන් සුරක්ෂිතයි!!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙවැනි මූල්‍ය ආයතනයක (බැංකු හෝ බැංකු නොවන) ක්‍රියාකාරිත්වයේ යම් අර්බුදකාරී තත්වයක් මතු වන විට එයට මැදිහත් වෙමින් නියාමන පනවන්නේ සැබවින්ම එය කඩා වැටීම වළක්වන්නට ය. එනම් තැන්පත්කරුවන් සහ ණයකරුවන්ගේ හිමිකම් සහ ඔවුන් සම්බන්ධයෙන් එකී මූල්‍ය ආයතන වෙත ඇති වගකීම්, නීතිමය වශයෙන් සුරක්ෂිත කරලීමට ය. මීට පෙර මහබැංකුව මැදිහත් නොවීම නිසා තැන්පත්කරුවන් මහ මගට ඇද දැමූ මූල්‍ය ආයතන පිළිබඳ අපි දනිමු. ඔවුන් සිය තැන්පත් මුදල් ආපසු ලබාගැනීම සහ පොලිය ලබාගැනීම සඳහා වසර ගණන් මහමග රස්තියාදු වූ අන්දම අපි දැක ඇත්තෙමු. නමුත් මහබැංකුවේ ලියාපදිංචි සහ එයින් නියාමනය වන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට සහ ණයකරුවන්ට එසේ කලබල වන්නට කාරණා ඉතා අඩු ය.

දැන්, මහබැංකුව විසින් මෙකී මූල්‍ය ආයතන ද්විත්වය ඊයේ පටන් වහාම ක්‍රියාත්මක වන පරිදි මහබැංකුවේ කළමනාකාරිත්වය සහ පාලනය යටතට පත් කර තිබෙන්නේ මූල්‍ය කටයුතු යථා තත්වයට පත් කරලීමට මාස 06 ක කාලයක් ලබාදෙමිනි. එම කාලය තුළ දේශීය හෝ විදේශීය නව ආයෝජකයන් සොයාගැනීමට ඔවුන්ට කාලය සහ අවකාශය ලැබේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය මගපෙන්වීම සහ දායකත්වය ද මහබැංකුව විසින් ලබාදෙයි. ඒ අනුව සැබවින්ම මෙහිදී සිදු ව තිබෙන්නේ මහබැංකුව විසින් ඔවුන්ගේ කටයුතු යථා තත්වයට පත් කරලීම සඳහා මාස 06 ක වැඩසටහනක් ක්‍රියාවට නැංවීමකි.

අපට දැනගන්නට ලැබී තිබෙන කරුණු අනුව මෙම මූල්‍ය සමාගම් දෙකේ පැරණි කළමනාකාරිත්වය විසින් මේ වන විටත් සමාගම් දෙක නැවත නගා සිටුවීම පිණිස විසඳුම් සොයා තිබේ. සමාගමේ වත්කම් විකිණීම මගින් වත්කම් සහ වගකීම් අතර පවතින පරතරය පියවා ගැනීම සඳහා ඔවුන් කටයුතු කර ඇත. මේ අනුව වත්කම් විකිණීම, සමාගම් ද්විත්වය දැනට සිටින අර්බුදයෙන් ගොඩ ඒමට මාර්ගය පාදා දෙන්නේ ඊ ටී අයි සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් හෙවත් රුපියල් බිලියන 12 ක් ආයෝජනය කිරීම මගිනි. මෙම ආයතන යථා තත්වයට පත්වීම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවය වන්නේ ද රුපියල් බිලියන 12 ක් බව මහබැංකු අධිපතිවරයා සනාථ කරයි.

මේ සඳහා සුදුසු විදේශ ආයෝජකයෙක් දැනටමත් ඉදිරිපත් වී සිටියි. එම ආයෝජකයාගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සිදුකරන්නේ ද මහබැංකුව විසිනි. ඒ අනුව ආයෝජකයාගේ මූල්‍ය පැවැත්ම, විශ්වාසනීයත්වය සහ සුරක්ෂිතභාවය මහබැංකුවේ අධීක්ෂණයට නිරතුරු ලක් වේ. පසුගිය මාස කිහිපය තුළ සමාගමේ ද්‍රවශීලතාවය පවත්වාගෙන යාම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක ණය මුදලක් ලබාදී තිබෙන්නේ ද එම ආයෝජකයා විසිනි. ඒ අනුව පෙනී යන්නේ මෙම සමාගම් දෙක නැවත යථා තත්වයට පත්කරලීමට හැකි බවට එම ආයෝජකයා තුළ තිබෙන විශ්වාසය ද වේ.

ඊටීඅයි සමාගමේ උප ශාඛාවන් ටෙලිවිෂන්, රේඩියෝ සහ සිනමාව යන ක්ෂේත්‍රයන් හි ද නිරත වී සිටින බැව් අපි දනිමු. මහබැංකු අධිපතිවරයා ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ නව ආයෝජකයා මෙම මාධ්‍ය සමාගම් සමග අතපෙවීමක් හෝ මිශ්‍රවීමක් නොකරන බව ය. මූල්‍ය නීති සහ රෙගුලාසිවලට අනුව ආයෝජන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණක්, එනම් පෙර සඳහන් කළ මූල්‍ය ආයතන ද්විත්වය සඳහා පමණක් ඔහුගේ මුදල් ආයෝජනය කෙරෙනු ඇත.

මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මහබැංකු පරිශ්‍රෙය්දී පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අනාවරණය කළේ අර්බුදයක් පැවතිය ද සමාගම වත්කම් අතින් පොහොසත් බැවින් එය කඩා වැටෙන්නට ඉඩක් නොමැති බව ද ඔහු සඳහන් කළේය. මාස 06 කාලය තුළ මූල්‍ය ආයතන ද්විත්වය යථා තත්වයට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

මෙකී මූල්‍ය ආයතන දෙකෙන් මව් සමාගම වශයෙන් සැලකෙන ETI Finance සතුව රුපියල් බිලියන 33 ක වත්කම් ප්‍රමාණයක් තිබේ. ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගම (SFS) සතුව රුපියල් බිලියන 2.5 ක වත්කම් ප්‍රමාණයක් තිබේ. ETI Finance හි තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව 33,000 කි. ඔවුන් විසින් තැන්පත් කර ඇති මුදල රුපියල් බිලියන 33.5 කි. SFS හි තැන්පත්කරුවන් සංඛ්‍යාව 2,300 ක් වන අතර ඔවුන්ගේ තැන්පත් මුදල්වල වටිනාකම රුපියල් බිලියන 2. 4කි.

මේ තත්වය තුළ තැන්පත්කරුවන් කැළඹීමට පත්වීමේ (panic) කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ මාස 6 ක කාලය තුළ මුදල් තැන්පත්කරුවන්ගේ කල් පිරෙන මුදල් තැන්පතු ආපසු ගැනීමට සීමා පැනවෙන්නේ ද එම හේතුව නිසා ය. මෙම මූල්‍ය ආයතන ද්විත්වයට එරෙහිව පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා සහ හිතාමතා කළ පහරදීම් ද හේතුවෙන් තැන්පත්කරුවන් සිය මුදල් තැන්පතු අනියත බියකින් යුතුව ඉවත් කර ගැනීමේ ප්‍රවණතාවක් ඇති ව තිබිණි. එවැනි සමහර වාර්තාවල මැලේසියානු ආයෝජකයෙකුට ඊටීඅයි විකුණා ඇති බවට ශීර්ෂපාඨ මැවුණේ ද අප පෙර සඳහන් කළ මැදිහත් වීම අපරික්ෂාකාරී ලෙස වාර්තා කිරීම හේතුකොට ගෙන ය. කෙටි කාලයක් ඇතුළත එවැනි මුදල් තැන්පතු ඉවත් කරගැනීම විශාල පිරිසක් විසින් සිදුකරන විට මූල්‍ය ආයතනයක් කඩා වැටෙන තත්වයට පත්වීම සාධාරණ ය. අපට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට පසුගිය සති කිහිපය ඇතුළත තැන්පත්කරුවන් විසින් සීඝ්‍රෙයන්, එම මුදල් සිය පොලිය ද සමග ආපසු ලබාගැනීම සිදුකර තිබේ. මේ සඳහා කැළඹිලි සහගත පුවත් අපරික්ෂාකාරී ලෙස වාර්තා කිරීමේ යෙදී සිටි මාධ්‍ය ද බොහෝ දුරකට වගකිව යුතු ය.

මෙම සමාගම් දෙකෙහි ප්‍රධානතම ව්‍යාපාරය බවට පත්ව තිබුණේ රන් සුරැකුම් (gold securites) සඳහා මුදල් ආයෝජනය කිරීමයි. 2012 වසරේ ලෝක වෙළඳපොළේ රන් මිල සෑහෙන ප්‍රමාණයකින් කඩා වැටුණේය. එසේ තිබියදී ද 2015 වසරේ පටන් ඔවුන් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටියේ ව්‍යපාර කටයුතුවල යෙදුණේ නව රජය බලයට පත්වීමෙන් පසු මෙම ක්ෂේත්‍රෙය් පුද්ගලික අංශයේ තනි ආයෝජකයෙක් විසින් සිදුකර ඇති විශාලතම ආයෝජනය සිදුකිරීමෙන් බව ද මෙහිදී අමතක නොකළ යුතුය. අපට දැනගන්නට ලැබී තිබෙන කාරණාවලට අනුව, මහබැංකුව විසින් මූල්‍ය ආයතන ද්විත්වය පවරා ගැනීමට පෙර දිනය දක්වාම, තැන්පත්කරුවන්ට ඔවුන් විසින් නියමිත පොලිය පවා ඒ ආකාරයෙන්ම ගෙවා තිබේ.

මහබැංකුව විසින් මෙම මූල්‍ය සමාගම් ද්විත්වයේ කළමනාකරණය සඳහා නොපමාව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර, එහි සාමාජිකයන් වන්නේ මහබැංකුවේ හිටපු සහකාර මහබැංකු අධිපතිවරයෙක් වන සේපාල රත්නායක, හිටපු ලංකා බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන පී.ඒ. ලයනල් සහ එච්.එම්. තිලකරත්න යන අය ය. ඔවුන් ක්ෂේත්‍රෙය් පළපුරුදු, කෘතහස්ත බැංකුකරුවන් ය.

මෙම සමාගම් ද්විත්වයේ මුදල් ආයෝජනය කිරීමෙන් පසු ලැබෙන පොළියෙන් ජීවත් වන සහ එයින් සෑහීමකට පත්ව සිටි 33,000 ක තැන්පත්කරුවන්ගේ හිමිකම් පිළිබඳ අපි වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් අවදියෙන් පසුවන්නෙමු. සිතන තරම් යකා කළු නැති බවත්, අහේතුකව කැළඹීමට පත් වීමෙන් ඇතිවන සිත් තැවුල් සහ කරදර, අනාගතය සඳහා ආයෝජනයක් නොවන බවත් මේ අවස්ථාවේදී ඔවුන් සිතට ගත යුතුය.



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ETI ගොඩගන්න බිලියන 12 ක් සමග ආයෝජකයෙක් ලංකාවට - තැන්පත්කරුවන් සුරක්ෂිතයි!!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×