Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

ශ්‍රී ලංකන් - Airbus A.S.A ගිවිසුමෙන් රජය බලවත් දුෂ්කරතාවයක!

රජයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ අදාළ ගිවිසුම අවලංගු කිරීමට හෝ වෙනත් තීරණයක් ගැනීමට තම අමාත්‍යංශය අපේක්ෂා කරන බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරන බවත් සඳහන් කරමින්ය.

කෙසේ නමුත් රජයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රාජපක්ෂ පාලන සමයේ මෙම ගිවිසුම ඇතිකරගෙන තිබෙන ආකාරය සහ Airbus A.S.A සමාගම ගිවිසුම අවලංගු කිරීම ප්‍රතික්ෂේප කිරීමත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලක කොටස්කරු ලෙස ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම සහ මේ වන විටත් එම ගිවිසුම සම්බන්ධව පවතින නෛතික ක්‍රියාවලියත් හේතුවෙන් ගිවිසුම සම්බන්ධව තීරණයක් ගැනීම රජයට දුෂ්කර කාර්යයක් වී ඇති බවය.

ඒ සම්බන්ධව වාර්තා වී ඇති වැඩිදුර තොරතුරු වලට අනුව A 350-900 ගුවන් යානා 4ක් නිෂ්පාදනය කර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් Airbus A.S.A සමාගම සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම 2013.06.28 අත්සන් කර ඇත. ඊට අනුව එම සමාගම විසින් ගුවන්යානා ලබාදීම 2020 වසරේ දෙවන කාර්තුවෙන් ආරම්භ වන අතර 2021 වසරේ අවසාන කාර්තුවේ අවසන් ගුවන් යානය මෙරටට ලබාදීමට නියමිතය.

අදාළ ගිවිසුමට අනුව ගුවන්යානා බාරදීමේ පුර්ව ගාස්තු ගෙවීම 2013 වසරේ ආරම්භවී ඇති අතර අවසන් ගාස්තුව ගෙවීමට නියමිතව තිබෙන්නේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව ගුවන්යානා මිලදී ගැනීමට යන ඇමරිකන් ඩොලර් 222,356,600.85 ක මුළු මුදලින් ඇමරිකන් ඩොලර් 19,214,638.45 ක පුර්ව ගාස්තුවක් මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය Airbus A.S.A වෙත ගෙවා ඇත.

එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස 2015 ජුනි 24 වනදා ගනුලැබූ අමාත්‍යමණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ඇණිය අඩු කිරීමට තීරණය කර ඇති අතර එහිදී A 350-900 ගුවන් යානා මිලදී ගැනීම ප්‍රමාද කිරීම, එය නැවත සාකච්ඡාවට ගැනීම සහ අවලංගු කිරීම යන විකල්පයන් සලකා බැලීමටද යෝජනා වී ඇත.

මෙම ගිවිසුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා 2016 නොවැම්බර් මාසයේ ආරම්භ කර ඇති නමුත් එහිදී ගිවිසුම මුළුමනින්ම අවලංගු කිරීමට Airbus A.S.A එකඟවී නැත. එසේම 2016 නොවැම්බර් මාසයේ සිට බාරදීමේ පුර්ව ගාස්තු ගෙවීමද අත්හිටුවා ඇති අතර ගිවිසුමට අනුව තවත් ඇමරිකන් ඩොලර් 679,463.61 ක මුදලක් Airbus A.S.A වෙත හිඟ වශයෙන් ගෙවීමට ඇත. මෙසේ පුර්ව බෙදාහැරීම් ගාස්තු ගෙවීමට අපොහොසත්වීම සම්බන්ධව Airbus A.S.A සමාගම සිහිකැඳවීම් සිදුකර ඇති අතර මිලදී ගැනීමේ ගිවිසුම් කඩකිරීම සම්බන්ධව ශ්‍රී ලංකන් ගුවන්සේවයට එරෙහිව Airbus A.S.A සමාගම කටයුතු කිරීමේ අවධානමක්ද මතුව ඇත.

මේ සම්බන්ධව රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ නීතිපති නිර්දේශ අනුව Airbus A.S.A සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය පවතින ගිවිසුම අවලංගු කිරීමට රජයට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් A 350-900 ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වන තුරු මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට Airbus A.S.A ප්‍රතික්ෂේප කර ඇති බවය. එසේම ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා වන මුළු වියදමද නිර්ණය කර නොමැති බවද වාර්තා වන අතර මෙම ගිවිසුම සම්බන්ධව කවර ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවද එය ප්‍රවේශමෙන් ගත යුතු බවත් මෙවැනි මහාපරිමාණ ගිවිසුම් අවලංගු කිරීමේදී පවා අතයට ගනුදෙනු සිදුවිය හැකි බැවින් වඩාත් පාරදෘශ්‍ය ක්‍රමයකට මෙම අර්බුදය විසඳාගන්නට යොමුවිය යුතු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කාශ්‍යප කොතලාවල



This post first appeared on Dawase Puwath 24x7, please read the originial post: here

Share the post

ශ්‍රී ලංකන් - Airbus A.S.A ගිවිසුමෙන් රජය බලවත් දුෂ්කරතාවයක!

×

Subscribe to Dawase Puwath 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×