Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

රත්නපුර සමන් දෙවොලේ ඇති විශ්මිත ’’පැලවෙන ගලේ’’ සැඟවුණු කතාව - PHOTOS

තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා අතරින් සුමන සමන් දෙවියන්ට ලැබෙන්නේ විශේෂිත වූ ස්‌ථානයකි. සමන් දෙවියන්ගේ වාස භූමිය ලෙස සමන්ත කූඨ පර්වතය හැඳින්වෙන අතර, ශ්‍රී පතුල තබා පූජනීය වනවාත් සමඟම එම ස්‌ථානය ශ්‍රී පාදය නමින් ව්‍යවහාර වන්නට විය. 

සමන් දෙවියන් ගැන කතා කරන විට සමන් දේවාල තනා දේව පුද පූජා පැවැත්වීම ආරම්භ වන්නේ පොළොන්නරු යුගයෙන් පසුවය. ප්‍රධාන දෙවොල සමනල කන්දේ සාදා එයට සිව් කොනින් සතර දේවාල වශයෙන් නැගෙනහිරින් මහියංගනය සමන් දේවාලයද, දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණියගල සමන් දේවාලය ද, බටහිරින් සබරගමුව මහ සමන් දේවාලයද ඉදිකර ඇත. මෙහිදී සබරගමුව මහ සමන් දේවාලය විශේෂිත වූ තැනක්‌ ගන්නේ මෙම දේවාල අතුරින් ප්‍රධානතම දේවාලය ලෙස මෙම දේවාලය සලකන නිසයි. මෙම දෙවොල විශ්මිත හාස්‌කම් රැසක්‌ සිදුවන ස්‌ථානයක්‌ බවට සැලකේ. 
දඹදෙනි යුගයේ රජ කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ නියෝගයකට අනුව තම මහා භාණ්‌ඩාගාරය ශක්‌තිමත් කර ගැනීම පිණිස තම ප්‍රධාන අමාත්‍යවරයා වූ ආර්ය කාමදේව ඇමැතිවරයා මැණික්‌ ගැරීම සඳහා රත්නපුරයට පිටත් කර හැරි බවත්, ඔහු විසින් සමන් දේවාලයට ගොස්‌ බාරයක්‌ දී මැණික්‌ ගැරීම ආරම්භ කළ බවත්, එය ඉෂ්ට වී මැණික්‌ ලැබී තම පැතුම් ඉටු වූ පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ස්‌ථානයේ තෙමහල් මන්දිරය සහිත දෙවොලක්‌ ඉදිකර බවට වූ ඓතිහාසික පුවත ‘සමන් සිරිත’ නම් කාව්‍ය සංග්‍රහයෙන් තහවුරු වන කරුණකි. 

අතීතයේද හාස්‌කම් පිරි දෙවොලක්‌ බවට සමන් දෙවොල ප්‍රසිද්ධියක්‌ උසුලනු ලැබූ බවට එම ඵෙතිහාසික තොරතුර මනාවට සාක්‍ෂි දරයි.  රත්නපුර නගරයේ මොරගහ යටින් පානදුර මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක්‌ පමණ ගිය පසු සබරගමුව මහ සමන් දේවාලය හමුවෙයි. බැලු බැල්මටම පෞරාණික මහා බලසම්පන්න බවක්‌ විදහාපාන දේවාල භූමිය භාරහාර වීමට, භාර ඉෂ්ට කරවීමට, ආදී නොයෙක්‌ කරුණු ඉෂ්ට සිද්ධකර ගැනීම සඳහා සතර දෙසින් පැමිණි බැතිමතුන්ගෙන් වර්තමානය වනවිට පිරි ගොසින්.

බැතිමතුන්ගේ මෙවන් ගෞරවය හා භක්‌ති ප්‍රණාම ප්‍රකාශ මැද පිය ගැට පෙළ නඟිමින් සමන් දෙව් අභියසට ළං වනවිට දැක ගත හැකි වන්නේ අපූර්ව වූ දෙයකි. ඒ එහි දොරකඩ උළුවස්‌ස විස්‌මය දනවන ලෙස කළුගලෙන් නිර්මාණය කර තිබීමයි. දකින්නන් විස්‌මය දනවන සුළුඅයුරින් නිර්මාණිත මෙය අතිශයින්ම අලංකාර නිර්මාණයකි. වම් පස ඉතා පෞරාණික ශිලා ලේඛන කිහිපයක්‌ද ආරක්‍ෂාකාරීව තබා තිබූ අතර ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ නොකර ඉතා පෞරාණික චිත්‍ර කිහිපයක්‌ද දේවාල බිත්තියේ දක්‌නට ඇත. 

ඇත්දළ, උඩුවියන් මැදින් තවත් ඉදිරියට යනවිට දැක ගත හැකිවන්නේ පුදුම දනවන තවත් දෙයකි. මීටර් 3ක්‌ පමණ උස වීදුරුවෙන් නිම කළ අලංකාර බඳුනක බහා තිබූ පැළ වුණ ගලකි. මුල සාමාන්‍යයෙන් අඟල් 6 * 6 ක පමණ ප්‍රමාණයේ කළුගල් කැබැල්ලකි. එතැනින් මතු වී වැඩුණ අඟලක පමණ ප්‍රමාණයෙන් මහත ඇති වැලක්‌ සේ ලියලා මීටර් 3ක්‌ පමණ ඉහළට වැඩුණු කළු ගල දකින දකින සෑම නෙතක්‌ම විස්‌මයට පත් කරනු ඇත. එහි විශේෂිත වූ පඬුරු කිහිපයක්‌ ද ගැටගසා තිබිණ. 

කිසිවකුට අතපත ගෑමට නොහැකි වන සේ ආවරණය කර තිබූ අමුතු ගල ගැන දේවාලයේ වැඩ කරන ගුණරත්න මහතා ඉතිහාස කතාව ගැන පැවසුවේ මෙවන් දෙයක්.

"මේ තමා සුමන සමන් දේවාලයේ දක්‌නට ලැබෙන පැළවෙන ගල. මෙම ගල කලින් තිබුණේ දේව ප්‍රතිමාව තිබෙන ඇතුළත. විශේෂිත වූ අයට තමයි ඒ දවස්‌වල මේක පෙන්නල තියෙන්නෙ. ඒත් ඒක දිගටම කරන්න අපහසු නිසා දේවාලයේ ප්‍රතිමාව තිබෙන දොර අභියස පසු කාලීනව තැන්පත් කළා.  මේකෙ ඉතිහාසය කියනවා නම් මහා පරාක්‍රමබාහු රජතුමාගෙ අනුග්‍රහයෙන් මෙතන දේවාලයක්‌ ඉදිකරන්න සූදානම් කරපුවෙලේ මුල් ගල හැටියට ගෙනාපු ගලෙන් කොටසක්‌ කඩල මේ වැඩේ සාර්ථක වෙන්න කියල දෙවියන්ට පූජා කරල භාරවෙලා තියෙනව.  කොහොමහරි දේවාලෙ හදල පුද පූජා පවත්වාගෙන යන අතරතුර සමන් දෙවිහාමුදුරුවන්ගෙ ප්‍රතිමාව අභියසින් ඔය කියන දෙවියන්ට භාර කරපු මුල්ගලේ කොටසක්‌ ආරක්‍ෂිතව පූජා භාණ්‌ඩයක්‌ විදිහට තියල තියෙනව. 

ඔහොම කලක්‌ ගත වෙනකොට මේ ගල පැළවෙන්න පටන් අරගෙන තියෙනවා. ඟල 2 – 3 උඩට ඉස්‌සිලා තමයි අද වෙනකොට මේ වගේ තත්ත්වයකට ලියලල තියෙන්නෙ. අපේ අතීතයේ පැරැන්නෝ සමන් දේවාලය වඳින්න එනකොට මේ ගල මෙච්චර උස නැහැලු. සමන් දේවාලෙට එන හැම බැතිමතෙක්‌ම මේ විශ්වකර්ම ගල දැක වැඳ පුදා ගැනීමට අමතක කරන්නෙ නෑ. මේක නම් තනිකරම දේව හාස්‌කමකට සිද්ධ වෙන දෙයක්‌ මේ ස්‌ථානයේ දෙවියන් ජීවමානව වැඩඉන්න බවට කදිම උදාහරණයක්‌ තමයි මේක. ඒත් කියන්න කනගාටු කාරණාවකුත් තියෙනවා. ඒ මීට අවුරුදු 40 කට විතර කලින් අයගම පැත්තෙන් ආපු නඩයක්‌ ඇත්තටම මේ කළු ගල පැළවෙනවද බලන්න දල්ල කඩල දාලා තියෙනවා. 

ඒ පාපකර්මය සිදු වුණ දවසෙ ඉඳන් මේ ගලේ පැළවීම නැවතිලා කියල තමයි කියන්නෙ. ලෝකෙ කොහේවත් තැනක දකින්නට නොලැබෙන මේ වැනි පැළවුණු ගලක්‌ මේ සබරගමු මහ සමන්දේවාලයෙ තමයි තියෙන්නෙ. මේක වුණේ අපේ දෙවිහාමුදුරුවන්ගෙ හාස්‌කමෙන් කියල තමයි මම ආයෙත් කියන්නෙ."



This post first appeared on Ceylon News 24x7, please read the originial post: here

Share the post

රත්නපුර සමන් දෙවොලේ ඇති විශ්මිත ’’පැලවෙන ගලේ’’ සැඟවුණු කතාව - PHOTOS

×

Subscribe to Ceylon News 24x7

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×